ආණ්ඩුකාරවර කාර්යාලය

LATEST NEWS

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ්ට මිලියන 100 කට වැඩි ශිෂ්‍යත්ව පරිත්‍යාගයක්

අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩනැගීමේ හා ප්‍රජාව බලගැන්වීමේ අරමුණින්, Imperial College of Business Studies ආයතනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ් මහතාට මිලියන 100 කට වැඩි වටිනාකමකින් යුතු ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදු කර තිබේ.

මෙම ඓතිහාසික දායකත්වය පෞද්ගලික අංශය මහජන ආයතන සමඟ එක්ව සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට කළ කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස සැලකිය හැකිය.

මෙම පරිත්‍යාගය මගින් University of the West of Scotland මගින් ජාත්‍යන්තර ව්‍යාපාර හා මූල්‍ය අධ්‍යයන ගෞරව උපාධිය සඳහා මිලියන 46.5 ක් වටිනා අර්ධ විද්‍යාවේදී ශිෂ්‍යත්ව 50ක් සහ එක්සත් රාජධානියේ Queen Margaret University ලබාදෙන කළමනාකරණ විද්‍යාවේදී ගෞරව උපාධිය (BSc Hons.) සඳහා මිලියන 38.75 ක් වටිනා අර්ධ ශිෂ්‍යත්ව 50ක් ඇතුළත් වේ. මෙම විශ්වවිද්‍යාල එක්සත් රාජධානියේ ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාල ලෙස ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති අතර මෙම ශිෂ්‍යත්ව සඳහා ලබාදෙන මුළු මුදල මිලියන 85 කට ආසන්න වේ.

මෙම වැඩසටහන පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ් මහතා කියා සිටියේ ඉම්පීරියල් අධ්‍යාපන ආයතනය විසින් සිදුකරන මෙම කාර්යය පුද්ගලික අංශය විසින් මහජනතාවගේ අනාගත අභිවෘද්දිය පිළිබඳ කැපවීම ලොවට පෙන්නුම් කරන සංකේතවත් අවස්තාවක් බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුදුසුකම් මත නම් කරන ලද ශිෂ්‍යයන් සඳහා අවස්ථාව ලබාදීම මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ අරමුණයි. විශේෂයෙන්ම, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට අවස්ථාව අහිමි වූ නමුත්, උසස් පෙළ විභාගය සාර්ථකව සමත් වූ ශිෂ්‍යයන් සඳහා මුලිකත්වය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

මීට අමතරව බස්නාහිර පළාත් සභාව මඟින් රාජ්‍ය සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, ව්‍යාපාර කළමනාකරණ උපාධි (MBA) සඳහා පහසු ගෙවීම් ක්‍රමයක් සහිත අර්ධ ශිෂ්‍යත්ව 50 පිරිනැමීම ද මෙමගින් සිදු කරන ලදී.මෙම උත්සවය අද දින (23) බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකරවර කාර්යාලයේ දී පැවැත්වෙන අතර, පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ, ඉම්පීරියල් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ෂන්මුගම් ශිවබාස්කරන් සහ එහි අධ්‍යක්ෂ චින්තක විජයරත්න යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් පවත්වන ලදි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉම්පීරියල් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ චින්තක විජයරත්න මහතා කියා සිටියේ ප්‍රගතිශීලී සමාජයක මූලික අංගය අධ්‍යාපනය බවයි.

ඉම්පීරියල් අධ්‍යාපන ආයතනයේ දායකත්වයෙන් සිදුවන මෙම වටිනා ව්‍යාපෘතිය පෞද්ගලික අංශය හා මහජන ආයතන අතර සහයෝගිතාව වර්ධනයට මඟපෙන්වීමේ වටිනා සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එකතුවන බව නො අනුමානය.