සාමය, සමගිය සහ සහජීවනය පිළිබඳ සමුළුව අවසන් වන්නේ පාස්කු ඉරිදා පිපිරීමෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සදහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 900ක පරිත්‍යාගයක් ලබා දෙමිනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා විසින් සංවිධානය කරන ලද සාමය, සමගිය සහ සහජීවනය සදහා වූ සමුළුව නෙළුම් පොකුණ රඟහලේදී 2019 ජූලි මස 30 වන දින පැවැත් වූ අතර සමුළුවට රටවල් 10කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් 1500ක් පමණ සංඛ්‍යාවක් සහභාගී විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම්වරයා වන ආචාර්ය මොහොමඩ් අබ්දුල් කරීම් අල්-ඉසා මහතායි.

මෙම සමුළුවට විදේශීය ධූත පිරිස්, රාජ්‍ය අමාත්‍යවරුන්, නීති සම්පාදකයින්, රාජ්‍ය නොවන සංවිධානයන්හි නියෝජිතවරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු, විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මහතා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද සහභාගී විය.

සංචාරය අතරතුර ආචාර්ය මොහොමඩ් අබ්දුල් කරීම් අල්-ඉසා මහතා සිව් නිකායන්හි මහ නායක හිමිවරුන්, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. ඔහු 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම සිදු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට නැරඹීම සඳහා සහභාගී විය.

සමුළුව අවස්ථාවේදී ආචාර්ය මොහොමඩ් අබ්දුල් කරීම් අල්-ඉසා මහතා පාස්කු ඉරිදා බෝම්බ පිපිරුමට ලක් වූවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 900ක පරිත්‍යාගයක් සිදු කරන ලදී.